Made In Sri Lanka

Made In Sri Lanka Updates

කොස්වලින් කිරි පිටි සාදා ව්‍යාපාරික ලොව උඩුයටිකුරු කළ ලලිත් මංජුල මහතා

කොස් ගහ කියලා කියන්නේ බත් ගස යන අන්වර්ථ නාමයෙන් පිදුම් ලැබූ  වටිනා ශාකයක්.අතීතයේ පටන්ම අද වන තුරු  ශ්‍රී ලාංකීය දේශීය ආහර රටාවේ ප්‍රධාන ප්‍රධානම අංගයක් තමයි කොස් කියලා කියන්නේ . ශක්තිජනක මෙන්ම පෝෂණ ගුණයෙන් අනූන වටිනාකමක් තියෙන ආහාරයක් ලෙස කොස් හඳුන්වන අතර  කොස් ගෙඩියේ කොස් ඇට දක්වා ප්‍රයෝජනයට ගත හැකි දේ බොහෝයි.

කොස් මාමා යන ආදරණීය නාමයෙන් පිදුම් ලැබූ  ආතර් වී දියෙස් මහතා  ලංකාවේ ඇති කළ කොස් ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරය අද වන විට  ගිලිහී ගියත් ඒ සඳහා පණදෙන අපූරු පුද්ගලයෙක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ .

ඔහු නමින් ලලිත් මංජුල සිල්වා මහතා වේ .ආතර් වී දියෙස් මහතාගේ කොස් මාමා සංකල්පය ඉදිරියට ගෙනියන්න පරම්පරාවේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරන මෙතුමා කොස් කොලේ සිට කොස් ඇටය දක්වා අපතේ නොයවා සකස් කරගත හැකි  ආහාර පිළිබඳව අපූරු ක්‍රම වේදයක් සකස් කරන පුද්ගලයෙකි.

මෙහි ආරම්භය සහ අරමුණ 

කොස් වැනි දේශීය ශාක වටිනාකම මිනිසුන් අඳුනගන්නේ ඉතාමත් අඩුවෙන් ඉතින් මෙවන් සමයක මෙතුමාගේ මූලිකම අභිමතාර්ථය තමයි  රසකාරක වසකාරක  සහ කෘතිම ද්‍රව්‍ය වලින් තොර  කොස් වලින් සකස්  කර ගත් ආහාර පාන ජනතාවට ලබා දීම . ඉතින් මේ අරමුණ පෙරදැරි කර ගත් මොහුගේ ව්‍යාපාරය  ආරම්භ කර අවුරුදු පහමාරක් පමණ ගත වෙනවා.ඒ වගේම ඔහු පවසන ආකාරයට මේ වන විට කොස් මාමා යන අන්වර්ථ නාමයෙන් කීර්තියක් දිනා ගැනීමටද ඔහුට හැකියාවක් ලැබී තිබෙනවා.

කොස් වලින් සිදුකරන විවිධ නිෂ්පාදන 

ඔහු විවිධ ආහාරපාන කොස් යොදාගෙන නිෂ්පාදනය කරනවා.එ වැනි නිෂ්පාදන ලෙස ,

  • කොස් චිලි පේස්ට් 
  • කොස් ලුනු මිරිස් 
  • දියවැඩියා රෝගීන්ට කොස් කොළ පානය 
  • කොස් චිප්ස් 
  • කොස් කැද 
  • කොස් රස කැවිලි 
  • කොස් ඇට පිටි 

ආදී නොයෙකුත් නිෂ්පාදන රාශියක් මොහු නිෂ්පාදනය කිරීම විශේෂත්වයක් .

ව්‍යාපාරය සිදු කරන ආකාරය 

 මේ ව්‍යාපාරය සඳහා ඔවුහුට අවශ්‍ය කොස් ලබාගන්නේ විවිධ ප්‍රදේශ වලින්.ඒ අතරින් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවක්ම මේ සඳහා මොහු යොදා ගන්නවා .ඒ අතරිනුත් අගලවත්ත , මදුරාවල, බණ්ඩාරගම  පානදුර ,වලල්ලාවිට ,ඉංගිරිය ,හොරණ වැනි ප්‍රදේශවලින් මොහු කොස් ලබා ගැනීම සිදු කරයි .

ඒ වගේ ම තමයි මේ ව්‍යාපාරය සිදු කිරීම එතරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි ඒ කියන්නේ  කොස් ගෙඩිය බිමට කඩා ගන්න නැතුව කොස් ගෙඩිය  ගහේදිම කඩා ගන්න ඕනේ .ඒ නිසා  මිනිසකු කොස් ගසට යවා ලණුවක් සහ ගෝනියක් ආධාරයෙන් කොස්ගෙඩිය බිමට බා ගැනීම සිදුකරනවා .

ඉන් පසුවත් ඉතා පිරිසිදුව ගෙඩියේ පොත්ත සුද්ද කරලා විවිධ නිෂ්පාදන සකස් කිරීමට යොදා ගන්නවා .

ඔහු පවසන ආකාරයට කොස් ගෙඩිය ගොඩක් පැහිලා නම්  එවැනි කොස්  චිප්ස් සෑදීම සඳහා යොදා ගන්නවා.

ඒ වගේ ම තමයි වැඩි පුර ඉදුණු කොස් ගෙඩි  විජලනය කර කොස් පවුඩර් නිර්මාණය කරනවා ඒ වගේම කොස්ගෙඩිය මැල්ලුම් මට්ටමට පැහිලා  තියෙනවා නම් ඒකෙන් කොස් චිලිපේස්ට් ,ලුණු මිරිස් වගේ දේවල් නිෂ්පාදනය කරනවා.

ඒ වගේම ඔහු පවසන ආකාරයට ඔහු විසින් සකස් කරන කොස් දඩු පානය සදහා දියවැඩියා රෝගීන්ගෙන් ඉහළ ඉල්ලුමක් තිබේ .ඒ වගේ ම සිංහල අලුත් අවුරුදු කාලසීමාවේදී  කොස් කිරිබත්, කැවුම් ,කොකිස් ,ආස්මී වැනි නොයෙකුත් ආකාරයේ රසකැවිලි නිෂ්පාදනය කර ගැනීමටත් හැකියාව තිබේ .

කොස් නිෂ්පාදන සඳහා දේශීය සහ විදේශීය වෙළඳ පොළ 

මූලික වශයෙන්ම ඔහු මේ නිෂ්පාදන වල නිරත වෙන්නේ දේශීය වෙළඳපොල ඉලක්ක ගත කරමින්. සිය වෙළඳපොල තුළ ද සැලකිය යුතු ප්‍රමාණයක ඉල්ලුමක් නිර්මාණය වූ නිසා ඔහු තමාගේ නිෂ්පාදන කටයුතු සාර්ථක ලෙස සිදු කිරීමට උනන්දු වුණා . ඉන්පසු මෙම කර්මාන්තයේ දියුණුව හේතුවෙන් මෙම නිෂ්පාදන රටවල් දහයකට පමණ අපනයනය කිරීමට මොහුට හැකියාව ලැබෙනවා.ඒ රටවල් අතරින් ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව   සිංගප්පූරුව ,කැනඩාව ,නවසීලන්තය ජර්මනිය, ඉතාලිය, යුක්රේනය  යන රටවල් ප්‍රමුඛ වේ.

ලබා ගත් ජයග්‍රහණ 

ඔහුගේ මෙම දේශීය දේ අගය කිරිම පාදක කරගත් දේශීය කර්මාන්තය නිසාම නිරන්තරයෙන්ම විවිධ අවස්ථාවන් වල දී ඇගයීමට පාත්‍ර වුණා.

  • ඒ අතරින් ඔහුට හැකියාව ලැබෙනවා 2018 සහ 2019 සහ 2020 යන වසර වල බස්නාහිර පළාතේ හොඳම ව්‍යවසායිකයා  විදිහට රන් සම්මානයෙන් පිදුම් ලැබීමට .
  • එපමණක් නොවේ 2018 සහ 2019 වර්ෂයේ දී ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ පැවති ලෝක ආහාර සමුළුවට සහභාගී වෙන්නත් මෙතුමාට හැකියාව ලැබී තිබෙනවා .
  • ඒ වගේම 2021 වර්ෂයේ දී  made in sri lanka සන්නාමය ලබා ගැනීමට ද මෙතුමාට හැකියාව ලැබුණා .

ස්භාවික දේ අගය කරමින් කොස්මාමා සංකල්පයට නැවත ජීවයක් එක් කළ මෙවැනි පුද්ගලයන් ජාතිය ට කොයි තරම් වටිනා සම්පත් ද යන්න නිරන්තරයෙන්ම සිහි සිහි තබා ගත යුතු වේ . එම නිසාම දේශීය දේ අගයන දේශීය දේට හුරුවන ජාතියක් බවට පත්වීමට අපි ක්‍රියා කළ යුතුය.

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies

Leave a Reply

Your email address will not be published. Required fields are marked *