Made In Sri Lanka

Made In Sri Lanka Updates

බුද්ධිමය දේපල පනතේ ප්‍රකාශන අයිතිය පිළිබඳ නීති රීති

අතීතයේ මෙන්  නොව අද බොහෝ පුද්ගලයන් කියවීමට මෙන්ම පොත් සම්පාදනයටත් වැඩි උනන්දුවක් දක්වයි. වර්තමානය වන විට කියවීමේ, ලිවීමේ වර්ධනය පමණක් නොව අනවසරයෙන් සිදුවන පිටපත් මුද්‍රණය ,කරුණු සොරා ගැනීම ආදී ගැටලු නිසා මේ සම්බන්ධයෙන් පවතින නෛතික රැකවරණය පිළිබඳව සියලු දෙනාම දැනුවත් විය යුතු යි. විශේෂයෙන්ම සාහිත්‍ය නිර්මාණ නිදහසේ පරිහරණයට හා රසවින්දනයට ඉඩ සැලසීම වැදගත් වුවත් මෙවැනි ගැටලු අනාගතයට සාහිත්‍ය  නිර්මාණ බිහි නොවීමට බලපෑ හැකියි. එබැවින් බුද්ධිමය දේපළ පනත පිළිබඳව දැනුවත්වීම ඉතා වැදගත් වේ.

2003/36 බුද්ධිමය දේපළ පනත නිරතුරුවම මිනිසාගේ ජීවිතය හා බැඳී පවතින අතර එය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි ය.ඉන් පළමුවැන්න කාර්මික දේපළ වශයෙන් ද දෙවැන්න ප්‍රකාශන අයිතීන් ද වේ. ප්‍රකාශන අයිතීන් අතරට ලිඛිත, රඟදැක්වූ හෝ පටිගත කරන ලද නිර්මාණයන් මෙන්ම සාහිත්‍ය  නිර්මාණ ඇතුළත් වේ.  ඒ අනුව මෙම ප්‍රකාශන හිමිකම යටතට දේපල හා දේපල නොවන අයිතිවාසිකම් ඇතුළත් වන අතර කතුවරයාට ඇති අයිතිය මෙම ප්‍රකාශන අයිතිය වේ. ස්පර්ශ කළ නොහැකි මෙම බුද්ධිමය දේපළවල වටිනාකම දිනෙන් දින ඉහළයමින් පවතී. අතීතයේ දී ප්‍රකාශන අයිතිය වැනි දෑ පිළිබඳව පැවති අවධානය අඩුවුවත් අද වන විට ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා දැඩිව අවධානය යොමු කරනු ලබයි. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශයේ 27 (2) වගන්තියට අනුව ඕනෑම අයෙකුට තමා විසින් නිර්මාණය කරන ලද විද්‍යාත්මක සාහිත්‍ය සහ කලාත්මක කෘතිවල සදාචාරාත්මක සහ ආර්ථික අයිතිවාසිකම් හිමිවන බව ප්‍රකාශිත ය. ලොව ප්‍රකාශන අයිතිය පිළිබඳව සංකල්පය 19 වන සියවසේ දෙවන භාගයේ පැන නැගි සංකල්පයක් බවට පිළිගත්තත් එහි මූල බීජය මානව ශිෂ්ඨාචාරය තරම් පැරණි බව හඳුනා ගෙන තිබේ. ක්‍රි .ව. 561 දී අයර්ලන්තයේ වාසය කළ කොළොම්බා නමැති ශිෂ්‍යයා ඔහුගේ ගුරුවරයා වූ ශාන්ත ජිනියන්ගේ යාඥා පොතක් ඔහුගේ අවසරයකින් තොරව පිටපත් කිරීම නිසා  අයර්ලන්ත රජු වූ ඔයර්මේඩ් විසින් දෙන ලද තීන්දුවෙන් හා ප්‍රකාශයෙන් ප්‍රකාශන අයිතිය පිළිබඳ  සංකල්පය ප්‍රභවය වී ඇති බව පෙනේ. එහිදී සෑම ග්‍රන්ථයකටම එහි පිටපත් කළ පිටපත අයිති විය යුතු බවට රජු ප්‍රකාශ කොට තිබේ. මෙම ගෝලයා පිටපත් කළ පිටු 58 කින් යුක්ත යාඥා පොතේ කොටස් අයර්ලන්තයේ රාජකීය විද්‍යා ඇකඩමියේ ප්‍රදර්ශනයට තැන්පත්ව තිබී ඇති බැවින් මෙහි සත්‍යතාවය වටහා ගත හැකි ය.

ප්‍රකාශන අයිතිය පිළිබඳව මුල්ම නීති දහඅට වන සියවසේ  මුල් භාගයේ දී බ්‍රිතාන්‍යයේ දී පනවන ලදී. එම පනතට අනුව ග්‍රන්ථයක අයිතිය එම කතුවරයාගේ දේපළක් ලෙස පිළිගන්නා අතර ග්‍රන්ථයක් ප්‍රථම වරට මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීමේ අයිතිය ද කතුවරයාට හිමි විය. කෘතියක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වසර 28 ක කාලයක් දක්වා එම කෘතියේ ප්‍රකාශන අයිතිය කතුවරයාට හිමි වේ.

මෙසේ ඇරඹි ප්‍රකාශන අයිතිය පිළිබඳ නීති ඒ ඒරටේ දේශපාලන වෙනස්කම්වලට අනුව සකස්  වූ අතර ශ්‍රී  ලංකාව තුළ ප්‍රකාශන අයිතියේ ප්‍රභවය සහ වර්ධනය විවිධ පනත් ඔස්සේ සිදුව ඇති බව පෙනේ. විවිධ කාලයන්වල දී සංශෝධනය වූ ලංකාවේ ප්‍රකාශන අයිතිය සම්බන්ධ පනත් අතුරින් 1979 පනත මුළුමනින් ම ඉවත්කර 2003 අංක 36 දරන ප්‍රකාශන හිමිකම් පනත සකස් කරන ලදී. එම පනතට අදාල වගන්ති මෙසේ ය.

  • ප්‍රකාශන හිමිකම සුරක්ෂිත කළ යුතු කාල පරිච්ඡේදය  සෑම කෘතියකට ම වසර 50 සිට වසර  75 දක්වා දීර්ඝ කර ඇත. (මෙවැනි නීතියක් පනවන ලද දකුණු ආසියාවේ පළමු රට හා ලෝකයේ සිවුවන රට  ශ්‍රී  ලංකාවයි.)
  • අධ්‍යාපන කටයුතු  හා පර්යේෂණ අවස්ථා සඳහා සාධාරණ භාවිතයට අවස්ථාව ලබා දේ.
  • උද්ධෘත වශයෙන් උපුටා ගැනීමට අවසර ඇත්තේ හතරෙන් එකකි.
  • කිසිදු කෘතියක් රචකයාගේ අවසරය නොමැතිව පරිවර්තනය  කළ නොහැකි ය.

 ප්‍රකාශන අයිතිය 

ප්‍රකාශන අයිතිය පුළුල් පරාසයක පවතින සාහිත්‍යමය සහ කලාත්මක නිර්මාණ සඳහා එම නිර්මාණකරුවන්ට හිමිවන නීත්‍යානුකූල අයිතිය යි. පුද්ගලයන් එදිනෙදා භාවිතා කරන පොත්වල කරුණු ,පොත්වල පිට කවරයේ ඇඳ ඇති සිතුවම් , සංයුක්ත තැටි, ගීත නිබන්ධන ,සංයුක්ත තැටි මත කළ කලාත්මක නිර්මාණ  ප්‍රකාශන අයිතිය සඳහා නිදසුන් වේ. ප්‍රකාශන අයිතිය මගින් නිර්මාණයේ හිමිකම ආරක්ෂා කරනු ලබයි. එමගින්  අදහස් වන්නේ නිර්මාණකරුවන්ට නීතිය මගින් ලබාදී ඇති අයිතිවාසිකම් ය. මෙම අයිතිවාසිකම් කොටස් දෙකකින් සමන්විත වේ.

    (අ ) ආර්ථික අයිතිවාසිකම්

මේ යටතට කෘති ප්‍රති නිෂ්පාදනය ,විකිණීම, කුලියට දීම,බෙදාහැරීම,මහජනයා සඳහා සන්නිවේදනය කිරීම,පරිවර්තනය කිරීම ආදී අයිතිවාසිකම් ඇතුළත් වේ.

    (ආ) සදාචාරාත්මක අයිතිවාසිකම් 

කතෘත්වය සඳහා හිමිකම් සහ කෘතිය හා සම්බන්ධ යම් විකෘති කිරීමකට, අංග ඡේදනයකට හෝ හීනකාරක ක්‍රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම් ආවරණය කරයි.  

මෙම ප්‍රකාශන අයිතිය මගින් ප්‍රධාන වශයෙන් කලාකරුවන්ට, නිෂ්පාදකයන්ට,ගුවන් විදුලි ප්‍රචාරක ආයතන හෝ සංවිධානවලට අදාල නිර්මාණ සඳහා ආරක්ෂාව සපයනු ලබයි. එපමණක් නොව මෙම හිමිකම මගින් තම නිර්මාණ භාවිතයට මෙන්ම යම් අයුරකින්  අයෙකුට භාවිතා කිරීමට බලය පැවරීමට හිමිකම ලැබෙන අතර තම නිර්මාණ සඳහා ඉහළ ආර්ථික ප්‍රතිලාභ ද ලබාගත හැකි වේ. 

  1. යම් නිර්මාණයක් සඳහා ප්‍රකාශන අයිතිය  මුළු ජීවිත කාලය සඳහා වන අතර මරණින් පසුව ද වසර 70 ක කාලයක් දක්වා එහි අයිතිය හිමිකරු සතු බව මෙරට නීතිය අනුව සඳහන් වේ. එසේම මෙම හිමිකම් කාලය අවසන්වීමත් සමඟ අදාල නිර්මාණය මහජනයාට නොමිලේ භාවිතයට මෙන්ම ප්‍රති නිෂ්පාදනයට හැකියාව ලැබේ. නමුත් මුල් කෘතියේ කතෘත්වය සහ ගෞරවය නිසැකයෙන් ම මුල් නිර්මාණකරුවාට හිමි වේ.
  2. වෙනත් අයෙකුගේ නිර්මාණයක් උපුටා ගෙන තමන්ගේ අයුරින් පළ කිරීම මෙන් ම අනවසරයෙන් කෘතියක් පරිවර්තනය කිරීම ද බලවත් වරදක් වේ.
  3. නඩු වාර්තා, දෛනික ප්‍රවෘත්ති වාර්තා හා අදහස් පළකිරීම් බුද්ධිමය දේපළ පනතට අදාල නොවේ.
  4. කිසියම් ගීතයක් තම ආස්වාදය සඳහා නොව මුදල් පදනම් ව ප්‍රසිද්ධ වේදිකාවක ගායනා කිරීම, ඡායා පිටපත් මුද්‍රණය කොට අලෙවි කිරීම ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීම් වේ.

වර්තමානය වන විට අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රකාශන අයිතීන් උල්ලංඝනයන් වැඩිවෙමින් පවතින අතර යම් නිර්මාණයක අදහස් හෝ කරුණු වෙනත් පුද්ගලයන් අනවසරයෙන් සොරා ගැනීමෙන්  ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය වේ. ඒ අනුව ප්‍රකාශන  හිමිකම් නීති උල්ලංඝනය කිරීමකට රුපියල් 20000 කට නොවැඩි දඩයක් ද නියම කරනු ලබයි.බුද්ධිමය දේපළවල ආරක්ෂාව සඳහා සියලු දෙනාම  බුද්ධිමය දේපළ පනතේ නීති රීති දැනුවත් විය යුතු අතර එමඟින් නිර්මාණකරුවන්ගේ අයිතීන් සුරැකෙනු ඇත.

වැඩිදුර තොරතුරු සඳහා – https://www.nipo.gov.lk/web/index.php?option=com_content&view=article&id=31&Itemid=149&lang=si

Leave a Reply

Your email address will not be published. Required fields are marked *