Made In Sri Lanka

Made In Sri Lanka Updates

දිනකට පොල් ගස් 100 ක පොල් කඩන්න පුළුවන් මැෂිමක් අපේ රටේ නිපදවයි

ඉතින් පොල් ගහ කියන්නෙ කොයි කාටත් එදිනෙදා ජීවිතයේදී උයන පිහන කටයුතුවලට නම් නැතුවම බැරි දෙයක්.අතීතයේ පටන් ම මිනිසුන්ට පොල්ගහ සමග සමීප බැඳීමක් තිබ්බා.මේ ගසේ ඇති ප්‍රයෝජන නිමක් නැහැ.එය  එතරම්ම අපේ ජන ජීවිතයට ප්‍රයෝජනවත් වූ දෙයක්.

උපුල් කුමාර මහතා

ඉතින් පොල් කැඩීම සඳහාම  පුහුණු වු විශේෂ පුද්ගලයන් ඉන්නවා.බොහෝ වෙලාවට තමන්ගෙ නිවසෙ පිරිමි පුද්ගලයන්  පොල් ගහකට නැගලා පොල් ගෙඩියක් කඩන අවස්ථාත් නැතුවම නොවෙයි .නමුත් බොහෝ අවස්ථාවන් වල දී පොල් ගස් නැගීම සඳහා  එය වෘත්තියක් බවට පත් කර ගත් මිනිසුන් ඉන්නවා .

ඉතින් දවසට හම්බවෙන  සොච්චම් මුදල මත යැපෙමින්  ඉතා අවදානම් රැකියාවක මොවුන් නියලෙන්නේ දුප්පත් කම නිසාමයි.නමුත් වර්තමානයේ බොහෝ අවස්ථාවන්වල දී පොල් කැඩීමේ නිරත වන පුද්ගලයන් සොයා ගැනීම අපහසුයි. බොහෝ අවස්ථාවන් වල දී නිවසේ පුද්ගලයන් විසින්  කෙක්කක් ආධාරයෙන් පොල් කැඩීම ද සිදු කරනවා.ඒ කෙසේ නමුත් මෙය ද පොල් කැඩීම සඳහා සුදුසු ක්‍රියා මාර්ගයක් නොවේ .එය තාවකාලික විසඳුමක් පමණයි.

එතෙක් කිසිදු අවදානමකින් තොර ව පොල් කඩා ගැනීම සඳහා සුදුසු උපකරණයක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ.මේ විශේෂ නිර්මාණය  සිදු කරල තියෙන්නෙ කෑගල්ල දැදිගම මැනික්කඩවර ප්‍රදේශයේ  ජීවත්වන උපුල් කුමාර මහතායි.

කොයි කාටත් පොල් ගෙඩියක් කඩාගැනීමට ප්‍රශ්නයක් වුනු කාලෙක මොහු විසින් නිෂ්පාදනය කරපු මේ උපකරණය ජනතාව අතර ප්‍රසිද්ධියට පත් උනා. මෙම උපකරණ සෑදීමට අදහස පහළ වුණේ කෙසේදැයි උපුල් කුමාර මහතාගෙන් විමසන අවස්ථාවන් වල දී  ඔහු පැවසුවේ එය තමන්ට අද ඊයේ සිතූ සිතුවිල්ලක් නො වන බවයි.

ඒ කියන්නේ වයස අවුරුදු 18 දී පමණ ඔහු දකිනවා පොල් කැඩීමේ නිරත වන පුද්ගලයෙක්  වළල්ල කකුලෙන් ගිලිහිලා පොල් ගහෙන් බිමට වැටෙනවා.ඉතින් මේ සිද්දිය තමන්ගේ සිතේ දැඩි කම්පනයක් ඇති කරන්න හේතු වුණා කියලා ඔහු පවසනවා .ඉතින් ඒ නිසා ම එදා ඔහු හිතා ගන්නවා මේ වෙනුවෙන් ඔහු සුදුසු උපකරණයක් කවදා හරි නිෂ්පාදනය කරනවා කියලා.

ඉතින් ඒ සිතුවිල්ලත් එක්ක  මොහුට පුළුවන්කම ලැබෙනවා ඊටත් වසර විසිපහකට විතර පස්සේ මේ අපූරු නිර්මාණය නිෂ්පාදනය කරන්න.

එයට පසුබිම සැකසුණු ආකාරය 

මෙම පුද්ගලයා කාලයක්  විදේශගත වෙලා ඉඳලා තියෙනව.ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා  නොච්චියාගම ප්‍රදේශයේදී කුඩා ව්‍යාපාරයක් පටන් ගන්නවා.අන්න ඒ ව්‍යාපාර ස්ථානයේ ඉඳලා තමයි මෙන්න මේ යන්ත්‍රය හදන්න 2012 වර්ෂයේදී මොහු මූලික අඩිතාලම දාල තියෙන්නෙ. ඒ වගේම මොහු පවසන ආකාරයට මේ යන්ත්‍රය නිෂ්පාදනය කිරීමේ ලා සිදු කරපු සියලු ම පියවර  ඔහු මතකයක් ලෙස ඔහු ළඟ තියාගෙන ඉන්නවා .මෙලෙස නිෂ්පාදනය කරපු යන්ත්‍රයට 2014 වර්ෂයේ දී මාධ්‍ය ප්‍රචාරය ලැබෙනවා.

මුලින්ම යකඩ අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන මේ නිෂ්පාදනය සිදු කරත් එහි පවතින දුර්වලතා හේතුවෙන් ඔවුහු මේ සඳහා සුදු යකඩ යොදා ගත්තා. ඔහු පවසන ආකාරයට මේ උපකරණය නිෂ්පාදනය කිරීමට ඔහුට රුපියල් 14000ක පමණ පිරිවැයක් වැය වෙනවා. මේ යන්ත්‍රය හොඳට පුරුදු පුහුණු කරපු පුද්ගලයකු විසින් පාවිච්චි කරනවනම් දිනකට පොල් ගස් සීයක විතර පොල් කඩන්න පුළුවන් බව ඔහු පවසනවා .

ඉතින් මේ පිළිබඳව මහජනතාව දැනගත් පසු මේ අංශ සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වෙනවා.ඒ නිසාම ඔහු තමන්ගේ සේවකයන් සමග එකතු වෙලා මේ යන්ත්‍රය  නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරත වෙනවා. මෙම යන්ත්‍රයේ ඇති  ආරක්ෂාකාරී තත්ත්වය පිළිබඳ නිරීක්ෂණයක් සිදු කොට ජාතික කෘෂි උපකරණ පරීක්ෂණ මධ්‍යස්ථානය මේ සඳහා සහතිකයක් නිකුත් කරනවා.

ඉතින් ඔහු වැඩිදුරටත් පවසන්නේ රජයෙන්  තමන්ට යම් කිසි අනුග්‍රහයක් ලැබුණොත් ඔහුගේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් වැඩිදියුණු කර ජනතාවට අවශ්‍ය උපකරණ ලේසියෙන්ම ලබා දිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *