Made In Sri Lanka

Made In Sri Lanka Updates

මානා ශාකයෙන් කඩදාසි හදන ශ්‍රි ලාංකිකයා

හිතේ ධෛර්යයි ගතේ ශක්තියයි තියනවනම් මනුස්සයෙක් ට කරන්න බැරි දෙයක් නැහැ.ලොව ජීවත්වන සෑම මනුස්සයෙක්ම උත්සාහ කරන්නේ දවසින් දවස දියුණු වෙන්න .ඉතින් දියුණු වීම උදෙසා බොහෝ මිනිසුන් විවිධ වෘත්තීන් වල නියැළිලා ඉන්නවා. බොහෝ වෙලාවට තව කෙනෙකුගේ යටතේ සේවය කරමින් හෝ තමන්ගේම ස්වයං ව්‍යාපාරයක් පටන් ගෙන දියුණු වුණු බොහෝ මිනිසුන් පිළිබඳ වර්තමානයේ අපිට අහන්න දකින්න පුළුවන් .

Gamini Alexander

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ පරිසර හිතකාමි ව්‍යාපාරයක්  ආරම්භ කරමින් ශ්‍රී ලාංකිකයන් අතර   ජනප්‍රියතාවයට පත් වුණු අපූරු ව්‍යවසායකයෙක් ගැනයි. ඔහු නමින්  ගාමිණී නැමැති පුද්ගලයෙක්.ඔහු ජීවත් වන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතවයි.තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තක් තිබ්බ ගාමිණි මහත්තයා ට හැකියාවක් ලැබෙනවා ඉවතලන කඩදාසි භාවිතයෙන් සහ ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන පරිසර හිතකාමී නිෂ්පාදන නිෂ්පාදනය කරන්න .

ව්‍යාපාරයේ ආරම්භය 

ගාමිණි මහතා විසින් දෙදාහ වර්ෂයේ දී තමයි මේ පරිසර හිතකාමි ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ.මීට අවුරුදු 2ට විතර පසුව ඔහු තම ව්‍යාපාරයට අලුත් සන්නාමයක් එකතු කරනවා.“ස්වභාදහමේ කඩදාසිය” හෙවත් Nature’s papers  යන නාමයෙන් ප්‍රචලිත වන මොහුගේ ව්‍යාපාරය  දිනෙන් දින සාර්ථකව දියුණුවට පත්වුණා.ඒ වගේම අද වන විට මොහු යටතේ සේවකයන් සෘජු සහ වක්‍ර  රැකියාවන්  ලබා සේවය කරන බව සඳහන් වනවා.

කර්මාන්ත ශාලාව

ව්‍යාපාරය සිදු කරන ආකාරය

ඔහු නිෂ්පාදනය කරන සියලුම නිෂ්පාදන නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය.මොහුගේ නිෂ්පාදන අතර ප්‍රසිද්ධියට පත් වුණු ප්‍රධාන නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන් අලි මාන කඩදාසි නිෂ්පාදනය.

මොකක්ද මේ අලි මාන කඩදාසිය කියන්නේ?

මාන කියලා කියන්නේ සමහර ප්‍රදේශවල අධික ලෙස ව්‍යාප්ත වෙලා තියෙන පාලනය කරගන්න බැරි වේගයෙන් ව්‍යාප්ත වන ගසක්  ඉතින් මේ කඩදාසි නිෂ්පාදනය කිරීම සඳහා මොහු යොදා ගන්නේ  මේ මාන කියන ශාකයයි.

ඊට අමතරව අලින්ගෙන්  ලබා ගන්නා මල පහ යොදාගෙන ඔහු මේ අපූරු කඩදාසිය නිර්මාණය කරනවා.මේ සඳහා ඔහු අමුද්‍රව්‍ය මිලදී ගන්නේ කරුවල ගස් ප්‍රදේශයෙන්.ඉතින් මෙලෙස නිපදවන මේ නිෂ්පාදනය අලි මාන කඩදාසිය ලෙස හඳුන්වනවා.

අනෙකුත් නිෂ්පාදන 

ගාමිණි මහතා නිරන්තරයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් කඩදාසි නිෂ්පාදනය කරන පුද්ගලයෙක්.ඉතින් ඔහු විවිධ ආයතන මගින් ඉවත දමන ලියා අවසන් කරන කඩදාසි සොයා ගෙනවිත් නවතම කඩදාසියක් නිෂ්පාදනය කරනවා. ඉතින් මොහු පවසන ආකාරයට මේ ක්‍රමය පරිසරයට ඉතාමත් හිතකරයි.ඒ කියන්නේ ඉවතලන කඩදාසි වලින් පරිසරය අපිරිසිදු වෙන්නෙත් නැහැ. කඩදාසි නිෂ්පාදනය කිරීමට  ගස් කැපීම සිද්ධ වෙන්නෙත් නැහැ. ඉතින් මෙවැනි වාසි සහගත තත්ත්වයන් නිසාම මොහුගේ නිෂ්පාදනයන් පරිසර හිතකාමී නිෂ්පාදන ලෙස ජනතාව අතර ප්‍රසිද්ධියට පත් උනා.

ඒ වගේ ම මොහු සඳහන් කරන ආකාරයට සාමාන්‍ය කඩදාසියක් නිෂ්පාදනය කිරීමට නම් විශාල වශයෙන් ජලය භාවිතා කිරීමට අවශ්‍ය බවත් තමන් මෙලෙස සිදු කරන්නා වූ නිෂ්පාදනයට ඒ ආකාරයෙන් විශාල ලෙස ජලය භාවිතා කිරීමට අවශ්‍ය නොවන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

කුරුඳු  නිෂ්පාදනයෙන් ඉතුරු වෙන කුරුඳු රොඩුද,කොහුබත් නිශ්පාදනය දී ඉතුරු වෙන්නා වූ අපද්‍රව්‍ය කොටස් ද,කසල තේ නිෂ්පාදනයේ දී ඉවත දමන කොටස් ද භාවිතා කරමින් ඔහු විවිධ භාණ්ඩ ඇසුරු කිරීමට සුදුසු නිෂ්පාදනයන් ද සිදු කරනවා.

ඒ අතර ආභරණ ඇසුරුම්, භාණ්ඩ ඇසුරැම් කිරිමට සුදුසු පෙට්ටි, කැට ආදී නොයෙකුත් නිෂ්පාදනයන් ඔහු සිදු කරනවා. ඔහු පවසන ආකාරයට මේ නිෂ්පාදන සියල්ලම  ශක්තිමත් භාවයෙන් වැඩි අතර හොඳ කල් පැවැත්මක්  ඇති පරිසර හිතකාමී නිෂ්පාදන වෙනවා. ගාමිණි මහතා පවසන ආකාරයට මෙවැනි භාණ්ඩ සඳහා ආයතන වලින් ද විවිධ පුද්ගලයන්ගෙන් ද ඔහුට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම වයඹ පළාතේ විවිධ පාසල් ළමුන්  කරුවලගස් වැව පිහිටා තිබෙන තමන්ගේ කර්මාන්ත ශාලාව නැරඹීමට පැමිණෙන බවත්ඔහු පැවසනවා.

මෙවැනි පරිසර හිතකාමී නිෂ්පාදනයන් සිදු කිරීම තමන්ට පමණක් සිදු  කළ හැකි දෙයක් නොවන බවත් ඒ සඳහා තවත් ව්‍යාපාරිකයන් සම්බන්ධ විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. එලෙස නිෂ්පාදකයන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන මෙවැනි නිෂ්පාදන වැඩි දියුණු කරනවා නම් ඒ සඳහා ජනතාව තුළ  පවතින්නාවූ ඉල්ලුම ද මීට වඩා වැඩි විය හැකි බව ඔහු පවසනවා.

ඒ වගේම රජයේ මේ සඳහා වගකිව යුතු නිලධාරීන් එවගේම මේ සඳහා භාරව සිටින්නා වූ අමාත්‍යාංශ මෙවැනි පරිසර හිතකාමි  නිෂ්පාදන දිරිගැන්විය යුතු බව අපගේ මතයයි.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies

Leave a Reply

Your email address will not be published. Required fields are marked *