Made In Sri Lanka

Made In Sri Lanka Updates

ජාත්‍යන්තරයට ගිය ආබාධිත තරුණ වෛද්‍යවරිය

මිනිසාට තම ජීවිතය හමුවේ මුහුණදීමට සිදුවන්නේ සුන්දර අත්දැකීම්වලට පමණක් නොවේ. නොසිතු නොවූ විරූ ලෙස අනපේක්ෂිතව මුහුණදීමට සිදුවන අත්දැකීම් ඇතැම් විට පුද්ගලයෙකුගේ ජීවිතය මුළුමනින් ම කණපිට හැරවීමට සමත් වේ. නමුත් ජීවිතයට ලැබෙන සුන්දර මිහිරි අත්දැකීම් මෙන්ම ලැබෙන කටුක අමිහිරි අත්දැකීම් ද සිනහ මුසු මුහුණින් දරාගෙන ඉදිරියට යාම ජීවිතය දිනන්නකුගේ ලක්ෂණයයි. නොසිතූ අයුරින් ජීවිතයට සමීප වූ කටුක වේදනාකාරී සිදුවීම් ආයාසයෙන් දරා තමාට අවැසි ලෙස දෛවය වෙනස් කළ දිරිය දියණියකගේ ජීවිතයයි අද ඔබ කියවීමට සූදානම් වන්නේ.ශ්‍රී  ලංකාවේ ඉපිද ලොව ජයගත් ඇය නමින් සමිතා සමන්මලී ය.

පිළියන්දල මකුලුදූව ප්‍රදේශයේ උපත ලද සමිතා සමන්මලී දියණියගේ පාසල් ජීවිතයත් එතරම් සුන්දර වූයේ නැහැ. වයස අවුරුදු 12 දී පියා අහිමි වන ඇයට මව සහ තම එකම සොයුරිය සමඟ තනිව ජීවිතයට මුහුණදීමට සිදුවිය. නමුත් ඉගෙනීමට ඇය සතු වූ දක්ෂතාවය ඇයට දිගු ගමනකට ඉඩහසර ලබාදුණි. මකුලුදූව ප්‍රාථමික විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන්  කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට වාසනාව උදා කරගන්නා ලදී. උසස් පාසලක අධ්‍යාපනය හොඳින් හැදෑරූ ඇය සරසවි සිහිනය ද යථාර්ථයක් බවට පත්කර ගන්නීය. අධ්‍යාපනය සඳහා ඇය තුළ පැවති දක්ෂතාවය සහ උනන්දුව ඇයව වෛද්‍ය  සිසුවියක් බවට පත්කරන ලදී. කොළඹ වෛද්‍ය  විද්‍යාලයේ උසස් අධ්‍යාපනයේ නිරතවෙමින් සිටි ඇයට නොසිතූ ඛේදවාචකයකට මුහුණදීමට සිදුවන අතර එය ඇයගේ ජීවිතය වෙනස්ම මඟකට අවතීර්ණ වීම කෙරෙහි ඉතා තදින් බලපාන ලදී.

මීට වසර 11 කට පෙර එනම්, ඇය තෙවන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක ලෙස අධ්‍යාපනය හදාරද්දී , නේවාසිකාරයේ සිටියදී දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිකළ අට්ටාලයක් හිසමත කඩා වැටීම ඇයගේ ජීවිතය ඉතා කටුක තත්ත්වයකට ඇද දමන ලදී. මෙම දරුණු අනතුරෙන් පසුව ඇය පත්වූ ආබාධිත තත්ත්වය ඇයගේ ජීවිතයේ කටුක ම පරිච්ඡේදයව පවතින්නට ඇත. නමුත් දෛවයට අභියෝග කරමින් ඇය මාස දහයක් පමණ නවතා දැමූ අධ්‍යාපන කටයුතු නැවත අරඹමින් සිය අධාපන කටයුතු සාර්ථකව නිමාකර උපාධිධාරිණියක් ලෙස ජීවිතයට මුහුණ දෙන ලදී.  ආබාධිත තත්ත්වයත් සමඟ ඇයට ජීවිතය ඉදිරියට සාර්ථක කරගැනීම මහත් අභියෝගයක් වුවත් ඇයගේ උත්සාහවන්ත්භාවය මෙන්ම කැපවීම ඇයව මෙතරම් දුරක් ඔසවා ගෙන එන්නට ශක්තියක් වන්නට ඇත.එම නොපසුබට වීර්යය ඇයට වෛද්‍යවරියක් වීම සඳහා ශක්තියක් වූ අතර ඇයගේ මතය වූයේ “එක් මාර්ගයක් වැසුණත්  තවත් මාර්ග බොහෝමයක් අපට විවෘත වන බවයි.”

ඇයගේ පළමු පත්වීම සෞඛ්‍ය  ප්‍රවර්ධන කාර්යංශයට ලැබුණු අතර ඇය එමඟින් ප්‍රජා සෞඛ්‍ය  පිළිබඳව අධ්‍යාපනය සඳහා අවධානය යොමු කරන ලදී. එතුළින් සෞඛ්‍ය  අමාත්‍යංශයේ තරුණ වැඩිහිටි  හා ආබාධිත  පුද්ගලයන් සමඟ වැඩ කිරීමට ලද අවස්ථාව අතරතුර 2017 වසරේ දී ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ද හිමි කරගන්නා ලදී. ෆිලින්ඩර්ස් විශ්ව විද්‍යාලයෙන් “ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රමවේද ” පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්න ලදී. අධ්‍යාපනයෙන් ඉහළටම යන ඇය ජාත්‍යන්තරයට ගොස් උපන් රට කීර්තියක් එන ඒමට ද කටයුතු කළා. ඒ ක්‍රීඩාව තුළින් වීම ඉතා විශේෂ යි.

දෙපා අහිමි තරුණියක් ලෙස ජිවිතයෙන් පළා නොයා නව ක්ෂේත්‍ර  ඔස්සේ ජීවිතයට මුහුණ දුන් ඇය සමස්ත තරුණ ප්‍රජාවටම ආදර්ශයකි. සිතේ දිරියෙන් නවමු මගක් තෝරාගත් ඇය උපන් බිමට සාඩම්බරයක් රැගෙන ආවේ ඔරු පැදීමන් වීම විශේෂ වේ. ආබාධිත බව බාධකයක් කොට නොගෙන ආසියාතික තරගවලට සහභාගී වී ලෝකඩ පදක්කම ලංකාවට රැගෙන එන්නේ ඇයගේ ගතේ නොව  සිතේ ජවයයි. ඇය විනෝදාංශය සඳහා තෝරාගත් ඔරු පැදීම ඇයව විශිෂ්ට ජයග්‍රහණයක් කරා රැගෙන එන ලදී. ඇයගේ සීමාවාසික පුහුණුව තුළ ඇය විනෝදාංශයක් වශයෙන් නියැළුණු ක්‍රීඩාව ඇයව ජාත්‍යන්තරට ගෙන යාමට සමත් විය. සමාජයේ වැඩි වශයෙන් අවධානයට ලක්විය යුතු නමුත් එසේ නොවන ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සමාජය තුළ වෙනසක් ඇති කිරීම ඇයගේ අරමුණයි. ආබාධිත අය වෙනුවෙන් අවශ්‍ය වන්නේ අනුකම්පාව  නොව සහයෝගය හා මානව හිතවාදිවීම බව ඇය ලෝකයට දෙන පණිවුඩයයි.

ජිවිතයේ කෙදිනක හෝ තමාට ලැබෙන දෙයින් පසුතැවීමට පත් නොවී ,එය දෛවයේ ඉරණම ලෙස නොසිතා අධිෂ්ඨානයෙන්  කටයුතු කිරීම සාර්ථක ගමනකට අත්වැලක් බව ඇය ඇයගේ ජීවිතයෙන් ලොවටම පෙන්වා හමාරය. ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සහිතව නව ගොඩනැගිලි ඇති ද යන්න සොයා බැලීමට බලය සහිත ආයතනයක් ලංකාවේ නොමැතිවීම ගැන කණගාටුව ප්‍රකාශ කරන ඇය ආබාධ අයෙකුටත් සාමන්‍ය පුද්ගලයෙකුට මෙන් ලැබිය යුතු නිසි ගෞරවය ලැබිය යුතු බව ද ඇය සමාජයට පසක් කොට අවසන්. ජීවිතයට ලැබෙන සියළු බාධක සම සිතින් ජයගෙන සාර්ථකවීමට ආබාධිත  බව තවදුරටත් බාධාවක් නොවන බව ඇය ලොවටම පසක් කොට අවසන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *