Made In Sri Lanka

Made In Sri Lanka Updates

පාදයන් නැතිවුනත් නිරූපිකාවක වූ කන්යා සෙසර්

සිරුරේ අත්‍යවශ්‍යම අංගයක් වන පාද දෙකම අහිමිව ජීවිතය දිනන එක දුර්වල බොහෝ අයට නම් සිහිනයක් ම පමණයි. උපන් විගස මහමඟ අතැර දමන ලදුව අනාතයෙකු ලෙස හැදී වැඩී මුළු ලෝකයම හඳුනන කාන්තාවක් වීමට ඇයට හැකියාව ලැබුණු අයුරු ඉතාම විස්මයජනකයි. මවගේ උණුසුම, පියාගේ රැකවරණය  අහිමි දරුවෙකු ලෙස සියළු අභියෝග ජයගත් ඇගේ සාර්ථකත්වයේ අපූරු කතාවයි මේ .

කන්යා සෙසර් නම් වූ ඇය තායිලන්තයේ නකොන් රට්චාසිමා පළාතේ පක්චොංහි උපත ලබන්නේ පාද දෙකම අහිමිවයි. ඇගේ එම තත්ත්වය නිස ඇගේ මව ඇය මාර්ගයේ අතහැර දමා යන මොහොතක ඇයට පිළිසරණක් වන්නේ නාදුනන මිනිසෙකි.ඔහු විසින් මෙම දෙපා අහිමි දියණිය පක්චොංනානා රෝහලට  ගෙන ගොස් භාරදෙන ලදී. මව පියා අහිමි ඇයට පවුලක් ලැබෙන්නේ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ගෙවූ ජීවිතය තුළදී ය. රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සැවොම කන්යාගේ මවුවරු වූ අතර ඇයට නව පවුලක් ලැබෙන්නේ වයස අවුරුදු හයේදී සමාජ සුබදායක අංශයේ අධ්‍යක්ෂක මලී චත්කන්හායිගේ මැදිහත්වීමෙනි. ඇමරිකානු යුවලක් වූ ඩේවිඩ් සහ ජේන් ඇයව දරුකමට හදා වඩාගත් අතර එය ඇයට උදා වූ විශාල භාග්‍යයකි .

ඇයව ඔරිගන්හි පෝට්ලන්ඩ් වෙත ගෙන ගොස් නව ජීවිතයක් ලබා දුන් ඇය හැදී වැඩුණේ නව යුවලගේ පුතුන් දෙදෙනා සමඟයි. දෙපා අහිමි දරුවෙක් විශේෂයෙන් ගැහැණු දරුවෙක්ගේ වගකීම සුළුපටු නොවන නමුත් ඇයට නව ජීවිතයක් ලබා දුන් යුවල එම අභියෝගයන් හමුවේ ඇයට ජිවිතය දීමට කටයුතු කළා. ඇයගේ අලුත් මව, පියා මෙන්ම සහෝදරයන් ද ඇගේ ජිවිතයේ වටිනාම පුද්ගලයන් වූ අතර ඇයගේ මව ඇයට පහසුවෙන් ජීවත්වීමට අවශ්‍ය  පහසුකම් සපයා දෙන ලදී. එහිදී ඇයට තම රෝද පුටුවෙන් ගමන් කිරීමට හැකිවන ලෙස පදික වේදිකා ,මාර්ග මෙන්ම මාර්ග හරහා යා හැකි පරිදි සංඥා ද සකසන ලදී. දෙපා අහිමි ඇයට තම ජිවිතය ජය ගැනීමට තම පවුලෙන්  ලද සහයෝගය අති මහත් ය.

දෙපා අහිමි වුවත් ආත්ම විශ්වාසය ඇයව බොහෝ දුරකට ගෙන එනු ලැබීය. උපත දුන් මවට වඩා උතුම් මාතෘ සෙනෙහසක් හිමි ඇගේ අලුත් මව ඇයට ජීවිතයට අත්වාරුවක් ලෙස නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන ලදී. ආබාධිත අයෙකු ලෙස ලෝකයෙන් සැඟව  නොසිට ටෙනිස්, මොස්කි,පිහිනුම් හා රග්බි ආදී ක්‍රීඩාවන්වල ද නිරත වූ ඇයට 2014 වසරේ දී ලන්ඩනයේ පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මොනොස්කී ඉසව්වෙන් එක්සත් ජනපදය නියෝජනයට අවස්ථාව ලැබිණි .ක්‍රීඩාව ජීවිතයට සමීප කර ගත් ඇයට එහිදී හමු වූ තමා වැනිම ආබාධ සහිත මිතුරු  මිතුරියන් ඇයගේ ජීවිතයට ශක්තියක් විය.

කන්යා සෙසර් කුඩා කලයේ

රූප ස්වභාවය පිළිබඳව බොහෝ අය පිළිගත් මතවාදයන් අභියෝගයට ලක්කරමින් ඇය ලොවට විශේෂ පණිවුඩයක් ලබාදුන් අතර එයට ඇයගේ ආබාධිත තත්ත්වය බාධාවක් නොවීය. සිරුරේ ඉහළ කොටස පමණක් හිමි ඇය පැහැපත් වර්ණයකින් යුක්ත වූ අතර කළු වර්ණයෙන් යුක්ත කොණ්ඩය ඇයගේ පෙනුමට අලංකාරයක් එකතු කරන ලදී. මෙම රූප ස්වභාවය ඇයගේ නිරූපිකාවක් වීමේ සිහිනයට මහත් රුකුළක් විය. එම සිහිනය යථාර්ථයක් බවට පත්වන්නේ Nike සහ Billabong වැනි ලොව ප්‍රමුඛ  වෙළඳ සන්නාම සඳහා නිරූපිකාවක වශයෙන් පෙනී සිටීමෙනි.එයින් නොනැවතුණු ඇය 2015 වසරේ දී රූපවාහිනී කතා මාලාවකට එක් වූ අතර වෝකිං ඩෙඩ් නම් රූපවාහිනී කතා මාලාවට ද රංගනයෙන් දායක වේ.තරුණවියේදී ම ඇය ඇයගේ ශාරීරික දුබලතාවයන් නොසලකා තම සිහින වෙනුවෙන් කැපවෙමින් ලොවට දුන් ආදර්ශය ඉතා අගනේ ය. 

ඇය සමාජයේ අනෙකුත් පුද්ගලයන්ගේ මතවාද තැකීමකට ලක් නොකළ අතර ඇය තුළ පැවති ආකල්පයන් ඇයව සාර්ථකත්වය සඳහා යොමු අරවීය. “ මිනිස්සු කවදාවත් මගේ ජීවිතයට ඍණාත්මක ආකාරයට බලපෑවේ නැහැ.මොකද් මට එයාල හිතන දෙයින් වැඩක් නැහැ. ”  මේ එයගේ සිතේ පැවති ආකල්පයන්හි ස්වභාවයයි. උපන් මොහොතේ මව අහිමි වූ පවුලක් අහිමි ඇයට ජිවීත්ය දුන්නේ රෝහලක කාර්ය මණ්ඩලයේ සේවක පිරිසයි.එබැවින් ඇය විශ්වාස කරන්නේ පවුල යනු ලේ ඥාතිත්වය හෝ එකම වර්ගයේ ඩී එන් ඒ. නොවන බවයි. ආබාධ සහිත පුද්ගලයන් සමාජයේ කොන්වීමට ලක්වන අතර ජීවිතය ඉදිරියට ගෙන යාමට් පසුබට වේ. එවෙනි පසුගාමී ආබාධිත අය වෙනුවෙන් උත්තේජනයක්  ලබ දීම ඇයගේ අභිප්‍රාය විය..ඒ සඳහා ලොව වටා සංචාරය කිරීමත්, දරුවන් පවුලට එකතුකර ගෙන හදා වඩා ගැනීමත් ඇයගේ අපේක්ෂාව විය.  “දෙපා නැතත් සීමාවක් නැහැ.” මේ ඇයගේ ජීවිතයේ තේමාවයි. දියණියකට මව පියා හිමිවුවත් සමාජයේ අත්විඳීමට සිදුවන්නේ බොහෝ විට කටුක තත්ත්වයකි.නමුත් දියණියක් වශයෙන් ආබාධිත බව නොසලකා තම ජීවිතයේ අරමුණු වෙනුවෙන් නොසැලී ඉදිරියට යන ඇය සමස්ත කාන්තා ප්‍රජාවට ම ආදර්ශයකි. “අපිට ලැබුණු ජීවිතයෙන් අපි උපරිම ප්‍රයෝජනය ගත යුතු ය.” එය ඇගේ ජීවිතයෙන් සමස්ත මානව සංහතියටම ගත හැකි ආදර්ශය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *